FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලසන්ත ඝාතනය කළේ කවුදැයි දන්නා අය දන්නවා.. යුක්තිය ඉටු නොවූයේ සාක්ෂි නැති නිසයි...- රංග දිසානායක

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට සැබෑ හේතුව වූයේ ඔහු මෙරට පාලකයන් ප්‍රමුඛ බලවතුන්ගේ අක්‍රමිකතා, වංචා සහ මහා පරිමාණ දූෂණයන්ට එරෙහිව නිර්‍භයව තම පෑන මෙහෙයවීම බව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඝාතකයන් කවුරුන්ද යන්න අධිකරණමය වශයෙන් නිශ්චිතව තහවුරු කර නොතිබුණ ද, ඔහු ඝාතනය වීමට බලපෑ එම දූෂණ විරෝධී හේතුව ඉතා පැහැදිලිව තහවුරු වී ඇති බව හෙතෙම සඳහන් කළේය. එදා ලසන්ත වික්‍රමතුංග වැනි අතළොස්සක් වූ පිරිසක් රාජ්‍ය දූෂණයට එරෙහිව හඬ නගද්දී, දසදහස් සංඛ්‍යාත ජනතාව ඇස් කන් පියාගෙන නිහඬව සිටි බව සිහිපත් කළ රංග දිසානායක මහතා, එම නොසැලකිලිමත්භාවයේ ඛේදජනක ප්‍රතිඵලය වසර ගණනාවකට පසු මුළු රටටම අත්විඳින්නට සිදුවූ බව පැවසීය. "එදා දූෂණයට සහ වංචාවට විරුද්ධ නොවී නිහඬව හිටපු දහස් සංඛ්‍යාත මිනිස්සුන්ට වසර ගණනාවකට පස්සේ ඉන්ධන සහ ගෑස් පෝලිම්වල මැරිලා වැටෙන්න සිදුවුණා. මේ රට ආර්‍ථික ප්‍රපාතයකට ඇද වැටෙන්න ප්‍රධානතම හේතුව දූෂණයයි. ඇතැම් ගොනු අස්ථානගත වී තිබුණත්, අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව සතු ලිපිගොනු පරීක්ෂා කරන විට මේ රටේ සිදුවූ විනාශය පැහැදිලිව පෙනෙනවා. එපමණක් නොවෙයි, ශ්‍රී ලංකාවේ ආර්‍ථිකය බිඳවැටීමට බලය හෙබවූ නිශ්චිත පිරිසක් වගකිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පවා නම් සහිතව තීන්දු කර තිබෙනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය. විනිසුරුවරයෙකු ලෙස තමන් ලද අත්දැකීම් විස්තර කරමින් ඒ මහතා කියා සිටියේ, සාපරාධී නීති පද්ධතියක් තුළ විත්තිකරුවෙකුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි සම්පූර්‍ණ විය යුතු බවයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නීතිමය යුක්තිය ඉටු නොවූයේ එම අපරාධය ඔප්පු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම නිසා බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, යුක්තිය යනු අධිකරණ ශාලාවක් තුළ පමණක් සිදුවන දෙයක් නොවන බව අවධාරණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ලසන්ත ඝාතනය කළ අය මෙන්ම එම ම්ලේච්ඡ ක්‍රියාව පිළිබඳ සියලු තොරතුරු දැනගෙනත් නිහඬව සිටින පාර්‍ශ්වයන් සිය මරණ මංචකයේදී හෝ තමන් ලසන්ත වෙනුවෙන් සාධාරණයක් ඉටු නොකළ බවට වන හෘද සාක්ෂියේ වරදකාරී හැඟීමට මුහුණ දෙනු ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad