FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස් කළේය. එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක හැරී බෲක් පන්දු 69කින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 67ක් රැස් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත විය. මීට අමතරව ජෝ රූට් ලකුණු 44ක්, බෙන් ඩකට් ලකුණු 32ක් සහ ජොස් බට්ලර් ලකුණු 31ක් රැස් කළහ. ඉනිමේ අගභාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ විල් ජැක්ස් පන්දු 47කින් නොදැවී ලකුණු 46ක් රැස් කරමින් එංගලන්ත ලකුණු පුවරුව ශක්තිමත් කළේය. පන්දු යැවීමේදී සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ පා දඟපන්දු යවන ක්‍රීඩක සචිඳු කොළඹගේ කැපී පෙනෙන දස්කම් දක්වමින් ජෝ රූට් සහ ජොස් බට්ලර්‍ගේ කඩුලු ඇතුළුව ලකුණු 44කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුද ලකුණු 53කට කඩුලු 3ක් බිඳහෙලීය. ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 176ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ පිතිකරුවන් වූ පැතුම් නිස්සංක ලකුණු 27ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් රැස් කරමින් යම් ස්ථාවරත්වයක් ලබා දීමට උත්සාහ කළද, මැදපෙළ පිතිකරුවන්ට සාර්‍ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. පසුපෙළින් පැමිණි දුනිත් වෙල්ලාලගේ පන්දු 36කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් වේගවත් ලකුණු 45ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළද, සෙසු පිතිකරුවන්ගේ සහයක් නොලැබීමෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 176කට සීමා විය. එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් අතිවිශිෂ්ට දස්කම් දැක්වූ විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවාලමින් ශ්‍රී ලංකා පසුපෙළ සුනුවිසුනු කර දැමූ අතර, ජේමී ඕවර්‍ටන් ලකුණු 21කට කඩුලු 2ක් දවාගත්තේය. පිත්තෙන් නොදැවී ලකුණු 46ක් ලබාගෙන පන්දුවෙන් ලකුණු 22කට කඩුලු 5ක් දවාලමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ විල් ජැක්ස් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටියි.

Google AdSense

In-Article Ad