
සෙවනගල සීනි ලොරිවලට බාධා කිරීම්...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
සෙවනගල සීනි කර්‍මාන්තශාලාවේ වත්මන් තත්ත්වය සහ සේවක වෘත්තීය ක්‍රියාමාර්‍ග සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්‍තා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා සෙවනගල සීනි සමාගමේ සභාපතිවරයා විසින් මෙම පැහැදිලි කිරීම නිකුත් කරනු ලබයි. සෙවනගල කර්‍මාන්තශාලාවේ සේවක නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදී නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. අගෝස්තු 25 වැනිදා සිට සේවකයන් සේවයට වාර්‍තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් කර්‍මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු අඩාල විය. අගෝස්තු 26 සහ 27 යන රජයේ නිවාඩු දිනවලද නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ අතර, අගෝස්තු 28 වැනිදා උදෑසන 10.00 වන විටත් නිෂ්පාදන කටයුතු ආරම්භ නොවීම හේතුවෙන්, නිෂ්පාදනයකින් තොරව වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන පාඩුව වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කර්‍මාන්තශාලාව වසා තැබීමට පාලනාධිකාරියට සිදුවිය. එමෙන්ම, කර්‍මාන්තශාලාව වසා තිබියදීත් අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති අතර, සීනි අලෙවිය සඳහා පැමිණි ලොරි රථවලටද බාධා කිරීම හේතුවෙන් ආයතනයේ ආදායම් කටයුතුවලට බලපෑම් එල්ල වී තිබේ. ආයතනයේ පිරිස් බලය සහ වැටුප් ව්‍යුහය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පැවති ගැටලු විසඳීම සඳහා වත්මන් පාලනාධිකාරිය විසින් විධිමත් පිරිස් බල තක්සේරුවක් සහ නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටී. කිසිදු සේවකයෙකුගේ වැටුප අඩු නොකර මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරමින් පවතී. වත්මන් වෘත්තීය ක්‍රියාමාර්‍ගය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්‍තමේන්තුව විසින්ද අදාළ පාර්‍ශ්ව වෙත නීතිමය තත්ත්වය දැනුම්දී ඇති බව සභාපතිවරයා පවසයි. සෙවනගල සීනි කර්‍මාන්තශාලාව මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන්ගේ ජීවනෝපාය සහ විශාල සේවක පිරිසකගේ රැකියා සමඟ සෘජුව බැඳී පවතින බැවින්, කර්‍මාන්තශාලාවේ අඛණ්ඩ පැවැත්ම සුරක්ෂිත කිරීම සියලු පාර්‍ශ්වයන්ගේ වගකීමක් බව සභාපතිවරයා අවධාරණය කරයි. එබැවින්, කඩාකප්පල්කාරී ක්‍රියාමාර්‍ගවලින් වැළකී, වහාම සේවයට වාර්‍තා කරන ලෙසත්, පවතින ගැටලු සාකච්ඡා මාර්‍ගයෙන් නීත්‍යානුකූලව විසඳා ගැනීමට සහය වන ලෙසත් සභාපතිවරයා සියලු සේවකයන්ගෙන් ඉල්ලා සිටී.
Google AdSense
In-Article Ad

