
වැඩිය සද්ද වෑ.. ශබ්ද විකාශණ නීතිය දැඩි කරයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ශබ්ද දූෂණය හේතුවෙන් දරුවන්, රෝගීන් සහ වැඩිහිටියන් මුහුණ දෙන සෞඛ්‍ය හා මානසික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග සහ දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය ප්‍රකාරව මහජන පීඩාවක් වන අයුරින් ශබ්ද විකාශනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා අවසර ලබා දීමේදී පහත සඳහන් කාල සීමාවන් දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත. • සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා: රාත්‍රී 10.00 දක්වා පමණි. • සිකුරාදා සහ සෙනසුරාදා: පසුදින අලුයම 01.00 දක්වා. පොලිසිය අවධාරණය කරන්නේ රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 06.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා සාමාන්‍යයෙන් අවසර පත්‍ර නිකුත් නොකරන බවයි. කෙසේ වෙතත්, විශේෂ ආගමික හෝ සංස්කෘතික උත්සව සම්බන්ධයෙන් කරුණු සලකා බලා නීත්‍යානුකූලව අවසර ලබා දීමට හැකියාව පවතී. අවසර පත්‍රයක් ලබා තිබුණද, එම ශබ්දය අදාළ පරිශ්‍රයෙන් පිටතට ගොස් අසල්වැසියන්ට හෝ මහජනතාවට කරදරයක් වන අයුරින් පවත්වාගෙන යාම තහනම් වේ. අවසර පත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝනය කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවන බවද එම නිවේදනයේ දැක්වේ. යම් ස්ථානයක අධික ශබ්දයක් පවතින්නේ නම්, ඒ පිළිබඳව අදාළ පුද්ගලයන්ට පොලිසිය විසින් අවවාද කරනු ලබන අතර, එම අවවාද නොතකා කටයුතු කරන්නේ නම් ශබ්ද විකාශන උපකරණ පොලිස් භාරයට ගැනීමටත්, අධිකරණ ක්‍රියාමාර්‍ග ගැනීමටත් කටයුතු කරනු ඇත. නීති විරෝධී ලෙස අධික ශබ්දයක් නිකුත් කරන අවස්ථාවන් පිළිබඳව 118 හෝ 119 යන හදිසි ඇමතුම් අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Google AdSense
In-Article Ad

