FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී එම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින්. රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා තමන්ට ලබාදිය හැකි බව පවසා පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ රැඳී සිටින පුද්ගලයින්ගෙන් මුදල් අයකරන බවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට ලද තොරතුරක් ලැබී තිබෙනවා. එම තොරතුර අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් කාර්යාංශයේ පළමු මහලේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඉන් පළමු සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචි සේවය අත්හිටවනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර, අනෙක් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ විදේශ ගමන් බලපත්‍ර 7ක්, ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකාද නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා. මොවුන් විසින් රැකියා අපේක්ෂිතයින් කිහිපවරක් කාර්යාංශය තුළට කැඳවා රැකියා ලබාදිය හැකි බවට විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. එමෙන්ම ඔවුන් කාර්යාංශයේ නිළධාරීන් ලෙස හැගී යන පරිදි කටයුතු කර තිබෙනවා. මීට පෙර ඊශ්‍රායල් රැකියා ජාවාරමේ නිරතවීම හේතුවෙන් කාර්යාංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම වී සිටින චාන්දනී මැණිකේ නම් කාන්තාවක් විසින් මෙම සැකකරුවන් මෙහෙයවා ඇතැයි ද තොරතුරු ලැබී ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කාර්යාංශය මගින් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවට, ඔවුන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම සඳහා අදාල අංශවල සේවය කරන නිළධාරීන්ගෙන් පමණක් සිය සේවාවන් හා තොරතුරු ලබාගන්නා ලෙස හෝ එසේ නොමැති නම් පිළිගැනීමේ කවුළුවේ සිටින නිළධාරීන්ගෙන් සේවය ලබාගන්නා ලෙස කාර්යාංශය ඉල්ලා සිටිනවා. එමෙන්ම කොරිඩෝව තුළ හෝ පිටත රැඳී සිටින කිසිඳු පුද්ගලයෙකු සමග ගණුදෙනු කිරීමෙන් වලකින ලෙසද කාර්යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා. .

Google AdSense

In-Article Ad