
වත්කම් ප‍්‍රකාශවල පුද්ගලික දත්ත රකින්න නීති තද කරයි.. වෙනත් වැඩවලට ගන්න බැරි කරයි..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
මෙම නව සංශෝධන මගින් දූෂණ ක්‍රියා හරහා උපයා ගන්නා දේපළ සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීම සහ ඇප ලබාදීමේ කොන්දේසි දැඩි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. නව සංශෝධනයට අනුව, යම් පුද්ගලයෙකු දූෂණ ක්‍රියාවක් මගින් දේපළක් අත්පත් කරගෙන හෝ පරිවර්තනය කර ඇති බවට අධිකරණය හමුවේ වරදකරු වුවහොත්, එම දේපළේ වටිනාකම මෙන් තුන් ගුණයකට නොඅඩු අතිරේක දඩයක් පැනවීම අධිකරණයට අනිවාර්ය වේ. මීට පෙර පැවති පනත යටතේ දූෂණ වරදකට උපරිම දඬුවම වූයේ වසර 10 නොඉක්මවන බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් මිලියනයක දඩයකි. එසේම, දූෂණ ක්‍රියාවක් හේතුවෙන් රජයට මූල්‍යමය අලාභයක් සිදුව ඇත්නම්, එම සම්පූර්ණ අලාභයට සමාන මුදලක් අතිරේක දඩයක් ලෙස අය කර ගැනීමට ද නව සංශෝධනය මගින් ප්‍රතිපාදන සලසා ඇත. බරපතල දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇප ලබාදීමේ ක්‍රියාවලිය ද නව සංශෝධනය මගින් දැඩි කර තිබේ. රුපියල් ලක්ෂයකට නොඅඩු අල්ලසක් ලබා ගැනීම, දීම හෝ ඉල්ලා සිටීම සහ රුපියල් ලක්ෂ පහකට නොඅඩු රජයේ පාඩුවක් සිදු කිරීම වැනි චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන්ට ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට පමණි. ඒ ද සුවිශේෂී කරුණු මත පදනම්ව පමණක් වන අතර, මහේස්ත්‍රාත් අධිකරණයට එවැනි සැකකරුවන්ට ඇප ලබා දීමේ බලය මෙමගින් සීමා වේ. වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමේදී පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද නව නීති හඳුන්වා දී ඇත. ප්‍රසිද්ධ කරන ලද වත්කම් ප්‍රකාශනයක් බලයලත් නිලධාරියෙකුට හෝ ආයතනයකට ඉදිරිපත් කිරීම හැර වෙනත් ඕනෑම කාර්යයක් සඳහා භාවිත කිරීම වරදක් ලෙස නම් කර තිබේ. එවැනි වරදකට රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසරක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකිය. තවද, මීට පෙර පැවති පනත අනුව වත්කම් ප්‍රකාශකයා සමඟ මාස හයකට වඩා වැඩි කාලයක් එකට වාසය කරන පුද්ගලයන්ගේ වත්කම් ද හෙළි කළ යුතු වුවත්, පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් එම අවශ්‍යතාව නව සංශෝධනය මගින් ඉවත් කර ඇත. මෙම සංශෝධනයේ ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ නියමිත ආයතන ලෙස සැලකෙන ආයතනවල රජයේ කොටස් ප්‍රතිශතය වෙනස් කිරීමයි. මීට පෙර රජයට 25% ක කොටස් හිමිකමක් ඇති සමාගම් ද මෙම පනතට යටත් වූ අතර, නව සංශෝධනය මගින් එම සීමාව 50% දක්වා ඉහළ නංවා ඇත. මේ අනුව, රජයට 50% ට අඩු කොටස් හිමිකමක් ඇති සමාගම්වල අධ්‍යක්ෂවරුන් හෝ සේවකයන් මින් ඉදිරියට "රාජ්‍ය නිලධාරීන්" ලෙස මෙම පනත යටතේ සලකනු නොලැබේ. වත්කම් ප්‍රකාශනවලින් ඉවත් කළ යුතු පෞද්ගලික දත්ත ගණයට ජාතික හැඳුනුම්පත් අංකය සහ විදේශ ගමන් බලපත්‍ර අංකය වැනි හඳුනාගැනීමේ අංකවලට අමතරව, අදාළ බලධාරීන් විසින් හඳුනාගැනීම සඳහා භාවිත කරන වෙනත් ඕනෑම අංකයක් ද ඇතුළත් කරමින් පෞද්ගලික දත්ත ආරක්ෂාව තවදුරටත් පුළුල් කර ඇත.
Google AdSense
In-Article Ad

