FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අගවිනිසුරු ධුර කාලය වසර 6කට සීමා වෙයි.. විනිසුරුවන්ගේ විශ්‍රාම වයසත් ඉහළට..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට අපේක්ෂා කරන නව ව්‍යවස්ථා සංශෝධන මාලාවට මෙම යෝජනාව ද ඇතුළත් කර තිබේ. මෙම නව සංශෝධනය ක්‍රියාත්මක වුවහොත්, අගවිනිසුරුවරයෙකු සිය ධුර කාලය වසර හයක් සම්පූර්ණ කළ වහාම, ඔහු නියමිත විශ්‍රාම වයසට එළඹ නොසිටියද ධුරයෙන් ඉවත් විය යුතු වේ. යෝජිත සංශෝධනවලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද ඉහළ නැංවීමට නියමිතය. මීට අමතරව සෙසු අධිකරණවල විනිසුරුවන්ගේ ද විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ දැමීමට රජය යෝජනා කර ඇත. රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ සංශෝධන මේ වන විටත් නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති බවයි. නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසු ලබන මස මුලදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරයි. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමෙන් පසු මෙම සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට අවස්ථාව පවතින අතර, අධිකරණ තීන්දුව ලැබීමෙන් අනතුරුව එය සම්මත කර ගැනීමට නියමිතය. එළඹෙන නොවැම්බර් මාසයේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර මෙම සමස්ත ක්‍රියාවලිය අවසන් කිරීම රජයේ ඉලක්කය වී තිබේ. මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නියෝජිත පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත. එහිදී ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද සාකච්ඡාවක් ඉල්ලා ඇති නමුත්, ඊයේ (සෙනසුරාදා) වන තෙක් ඒ සඳහා නිශ්චිත වේලාවක් වෙන්වී නොමැත.

Google AdSense

In-Article Ad