
ඖෂධ වර්ග 40කට අධික ප්‍රමාණයක දැඩි හිඟයක්...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගීන් සඳහා ලෝකයේ භාවිත කරන 'Qdenga' එන්නත මෙරට සෞඛ්‍ය පද්ධතියට හඳුන්වා දීම වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාද කිරීම බරපතල ගැටලුවක් බවයි. ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම අනුමැතිය ලබාදීම හිතාමතාම ප්‍රමාද කරන්නේද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව ඔහු අවධාරණය කරයි. පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය 'Oxaliplatin' සහ ශ්වේත රුධිරාණු වර්ධනය සඳහා යොදාගන්නා 'Filgrastim' ඇතුළු ඖෂධ වර්ග 40කට අධික ප්‍රමාණයක් දිගු කලක් තිස්සේ රෝහල් පද්ධතිය තුළ හිඟ වී පවතී. මේ හේතුවෙන් බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව වෛද්‍ය සංජීව මහතා පවසයි. ලෝකයේ දියවැඩියාව සහ තරබාරුව පාලනය සඳහා භාවිත කරන 'Mounjaro' වැනි අති නවීන එන්නත් මෙරට නිල වශයෙන් අනුමත කර නොමැති වුවද, ඕනෑම ෆාමසියක "කළු කඩේ" මිලට ඒවා ලබාගත හැකි බව වෛද්‍යවරයා අනාවරණය කරයි. "පිළිගත් නියෝජිතයන් නීත්‍යානුකූල අනුමැතිය එනතුරු බලා සිටියදී, කළු කඩකරුවන් නිසි ශීතකරණ පහසුකම් පවා නොමැතිව හොර පාරෙන් මේවා ගෙනවිත් විකුණනවා. මෙවැනි ඖෂධ භාවිතයෙන් රෝගියෙකු මියගියහොත් එහි වගකීම ගන්නේ කවුද?" යැයි ඔහු ප්‍රශ්න කරයි. ඖෂධ නියාමන අධිකාරිය විසින් පනවා ඇති මිල පාලනය හේතුවෙන් පෞද්ගලික රෝහල්වලට උසස් තත්ත්වයේ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට නොහැකි වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රසායනාගාර වාර්තාවල ප්‍රමිතිය බාල වී ඇති බවත් මෙහිදී අනාවරණය විය. වැරදි රෝග විනිශ්චය වාර්තා හේතුවෙන් රෝගීන් මරණයට පත්වීමේ අවදානමක් පවතින බවට ද වෛද්‍යවරු චෝදනා කරති. පවතින අර්බුදයට විසඳුම් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් විසින් රජයට පහත ප්‍රතිසංස්කරණ යෝජනා කර සිටියි. 1. මාර්ගගත පද්ධතියක් (Online Tracking): ඖෂධ ලියාපදිංචියේ සිට අනුමැතිය දක්වා ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව මහජනයාට නිරීක්ෂණය කළ හැකි පද්ධතියක් සැකසීම. 2. කඩිනම් අනුමැතිය (Fast-Track): ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හෝ FDA වැනි ජාත්‍යන්තර ආයතන අනුමත කළ ඖෂධ සඳහා මෙරටදී වසර ගණන් පරීක්ෂණ පවත්වන්නේ නැතිව කඩිනම් අනුමැතිය ලබාදීම. 3. WHO ප්‍රමිතියේ රසායනාගාරයක්: ආනයනය කරන සෑම ඖෂධ කාණ්ඩයක්ම වෙළඳපොළට නිකුත් කිරීමට පෙර පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියේ රසායනාගාරයක් ස්ථාපිත කිරීම. 4. වෙළඳපොළ වැටලීම්: රට පුරා ක්‍රියාත්මක වන කළු කඩ ඖෂධ ජාවාරම මැඬලීමට නිරන්තර වැටලීම් සිදුකිරීම. 5. විද්‍යාත්මක මිල සූත්‍රයක්: ඩොලරයේ අගය සහ ලෝක වෙළඳපොළ මිල ගණන්වලට අනුකූල වන පරිදි නම්‍යශීලී මිල සූත්‍රයක් හඳුන්වා දීම.
Google AdSense
In-Article Ad

