
IMF ගමන නිමයි.. ආණ්ඩුව අලුත් පාරවල් තුනක් ගැන හිතයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
දැනට පවතින ආකාරයේම විස්තීර්‍ණ ණය පහසුකම් වැඩසටහනකට යළි එළඹීමක් සිදු නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ වෙනුවට මෙරටට හිතකර කොන්දේසි සහිතව නව EFF ගිවිසුමකට එළඹීම, කෙටිකාලීන මුල්‍ය පහසුකමක් වන ස්ථාවර පහසුකම් ගිවිසුමකට යොමුවීම හෝ මෙවැනි සියලු වැඩසටහන්වලින් සම්පූර්‍ණයෙන්ම ඉවත් වීම එම විකල්ප තුන බව සඳහන් කළේය. රටට වඩාත්ම යෝග්‍ය සහ ඵලදායී විසඳුම තෝරාගැනීම වෙනුවෙන් මේ වන විට පුළුල් විශ්ලේෂණයක් සිදුකෙරෙමින් පවතින බවද හෙතෙම කියා සිටියේය. 2023 මාර්‍තු 20 වන දින අනුමත වූ ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ (විශේෂ ගැනුම් හිමිකම් - SDR බිලියන 2.3) වටිනාකමකින් යුත් වත්මන් විස්තීර්‍ණ ණය වැඩසටහන ලබන 2027 මාර්‍තු 19 වන දින නිමාවට පත්වීමට නියමිත අතර, වැඩසටහන අවසන් වීමට පෙර තවත් ණය වාරික දෙකක් මෙරටට ලැබීමට නියමිතව තිබේ. පසුගිය සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දී තිබුණේ, අඛණ්ඩව එල්ල වූ ආර්‍ථික කම්පනයන් හමුවේ ශ්‍රී ලංකා ආර්‍ථිකය සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති නමුත්, බටහිර ආසියානු යුද ගැටුම්, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති සහ එල්-නිනෝ කාලගුණ තත්ත්වයේ බලපෑම් හේතුවෙන් ආර්‍ථික අවදානම් තවදුරටත් පවතින බවයි. එම තත්ත්වය සනාථ කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, කලාපයේ උද්ගතව ඇති අවිනිශ්චිතතාව මෙරට ආර්‍ථිකයට ප්‍රධාන අභියෝගයක් වී ඇති බවයි. ගෝලීය සිදුවීම් කුමන දිශාවකට ගමන් කරන්නේ දැයි නිශ්චිතව කිව නොහැකි බැවින්, ආධාර සපයන්නන්, ණයහිමියන්, ආයෝජකයන් සහ ණය ශ්‍රේණිගත කිරීම් කෙරෙහිද අවධානය යොමු කර ඉදිරි ක්‍රියාමාර්‍ග පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ඔහු පැහැදිලි කළේය. ගෙවුම් ශේෂ අර්‍බුදයන්ට මුහුණ දෙන රටවලට කෙටිකාලීන මූල්‍ය සහන සලසන 'Standby Arrangement' ක්‍රමවේදය වඩාත් හිතකර විකල්පයක් ලෙස පෙනී ගියද, ඒ පිළිබඳවද මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

