
'X-press Pearl' ඩොලර් බිලියනයේ වන්දිය ගැන අගරදගුරුගෙන් හෙලිදරවුවක්...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ පැවති 86 වැනි වාර්‍ෂික රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. මෙහිදී අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ, වසර කිහිපයකට පෙර බටහිර මුහුදේදී ගිනිගත් එම නෞකාවෙන් සිදු වූ දැවැන්ත පරිසර හානිය වෙනුවෙන් නාවික සමාගමට එරෙහිව නඩු පවරා ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය තීන්දු කළ ද, එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට බලයේ සිටින පාලකයන් උත්සාහ නොකරන බවයි. "ඒ උසාවි තීන්දුව එතැනින්ම ඉවරයි. ඒවා ක්‍රියාත්මක කරන්න බලයේ ඉන්න අය උත්සාහ කරනවාද?" යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කර සිටියහ. එමෙන්ම මීට පෙර දකුණු මුහුදේදී තෙල් කාන්දුවක් සිදු වූ තවත් නෞකාවකට රහසින්ම මෙරටින් පිටව යාමට ඉඩ ලබා දීම හරහා ස්වභාවධර්‍මයට සිදු වූ විනාශය පිළිබඳව ද උන්වහන්සේ සිහිපත් කළහ. දේශපාලන නායකයන්ගේ ආත්මාර්‍ථකාමීත්වය සහ වගකීම් විරහිතභාවය හේතුවෙන් පරිසර දූෂණය ඉහළ ගොස් ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස් ජීවිත රැසක් අනතුරේ වැටී ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ. ලෝකයේ පවතින යුද ගැටුම්, ජාතීන් අතර විරසකය සහ පාරිසරික වෙනස්කම් හමුවේ මානව වර්‍ගයා අසරණ වී ඇති බව පැවසූ කාදිනල් හිමිපාණෝ, නේපාලය සහ ටිබෙටය අතර අයිස් කඳු කඩා වැටීම වැනි ස්වභාවික විපත්වලට ද මිනිසාගේ අදූරදර්‍ශී ක්‍රියාකලාපයන් බලපා ඇති බව පෙන්වා දුන්හ. ලෝකයේ සහ මෙරට දේශපාලන නායකයන් ජනතාවගේ සහ පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට තම පටු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
Google AdSense
In-Article Ad

