
ප්රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි පස් අරන් යයි... අපි දන්නේ නැතැයි ඉන්දීය මහකොමසාරිස් කියයි
FM Heart · 2 min read
ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ‘විදුතලෙයි චිරුතෙයිගල් කච්චි’ (VCK) පක්ෂයේ නායක තොල් තිරුමාවලවන් මහතා, යාපනය චෙම්මනී සමූහ මිනීවළ පිහිටි ස්ථානයට සිදුකළ මතභේදාත්මක සංචාරය සංවිධානය කිරීම සම්බන්ධයෙන් තම කාර්යාලයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තහවුරු කළ බව The Island පුවත්පත වාර්තා කරයි. ‘දි අයිලන්ඩ්’ පුවත්පත කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් හැරෙන්නට එම සංචාරය පිළිබඳව තමන් පූර්ව දැනුවත්භාවයක නොසිටි බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා වල්වැටිතුරෙයි ප්‍රදේශයට පැමිණි තිරුමාවලවන් මහතා, නොවැම්බර් 16 වැනිදා සන්ධ්‍යාවේ චෙම්මනී සමූහ මිනීවළ ආසන්නයේ පිහිටි ‘අනෛයා විලක්කු’ ස්මාරකය වෙත ගොස් උපහාර දක්වා ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම සංචාරය අතරතුර ඔහු දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරන මන්ත්‍රී පොන්නම්බලම්, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ බහුතරය විසින් දෙමළ ජාතිකත්වයේ පැවැත්ම බුදුදහමට තර්ජනයක් ලෙස සලකා එය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවට මෑතකදී නවදිල්ලියේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී ද ප්‍රකාශ කර තිබිණි. මේ අතර තිරුමාවලවන් මන්ත්‍රීවරයාගේ මෙම සංචාරය ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. තමිල්නාඩු BJP ප්‍රධාන ප්‍රකාශක නාරායනන් තිරුපති චෝදනා කළේ, තිරුමාවලවන් මහතා හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාට නිග්‍රහ කර ඇති බවයි. ප්රභාකරන් නිදහස් සටන්කාමියෙකු ලෙස හුවාදැක්වීම තරයේ ප්‍රතික්ෂේප කළ ඔහු, ප්රභාකරන් යනු රජීව් ගාන්ධි ඝාතනය කළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයා බවත්, ඔහුගේ නිවසට ගොස් උපහාර දැක්වීම ලැජ්ජා සහගත මෙන්ම සමාව දිය නොහැකි ක්‍රියාවක් බවත් පැවසීය. මේ හේතුවෙන් VCK පක්ෂය සමඟ පවතින සන්ධානයෙන් ඉවත් වන ලෙස භාරතීය ජනතා පක්ෂය කොංග්රස් පක්ෂයෙන් ඉල්ලා තිබේ.

