
කතානායකට ලොකු සැනසීමක්.. විශ්වාස භංගය දින නියමයක් නැතිව කල් යයි..
FM Heart · 1 min read
කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් නගා ඇති ඇතැම් චෝදනාවලට අදාළ නඩුවක් ලබන නොවැම්බර් මාසයේදී අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබීම මෙම තත්ත්වයට ප්රධාන හේතුව වී තිබේ. ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීන්දු වී ඇත්තේ, අධිකරණය හමුවේ පවතින එම නඩුව අවසන් වන තුරු මෙම විශ්වාසභංග යෝජනාව සභාව තුළ සාකච්ඡාවට නොගැනීමටයි. අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ කරුණු පාර්ලිමේන්තුවේදී විවාදයට නොකළ යුතුය යන සම්ප්රදායික නෛතික මූලධර්මය අනුව යමින්, මෙම විශ්වාසභංග යෝජනාව කල් දැමිය යුතු බව ආණ්ඩු පක්ෂයේ මතය වී ඇත. පාර්ලිමේන්තු කටයුතු සහ මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා සඳහන් කළේ, අදාළ නඩුව වෙනුවෙන් අධිකරණය විසින් නොවැම්බර් මාසයේ දින දෙකක් වෙන් කර ඇති බැවින්, එම නඩු කටයුතු අවසන් වන තෙක් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. එමෙන්ම, එළඹෙන දෙසැම්බර් මස මුල් සතියේදී අධිකරණයේ මෙන්ම පාර්ලිමේන්තුවේ ද වාර්ෂික නිවාඩු සමය ආරම්භ වීමට නියමිතව ඇත. මේ හේතුවෙන් ලබන වසරේ ජනවාරි මාසය වන තෙක් කථානායකවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳව කිසිදු අවසන් තීරණයක් ගැනීමට නොහැකි වනු ඇතැයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

