FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

‘කාවන්තිස්ස’ හස්තියා මිය යයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

දින ගණනාවක් තිස්සේ රෝගාතුරව සිටි මෙම හස්තියා සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්‍රදේශයක කුඹුරු යායක බිම ඇදවැටී අසරණව සිටියදී ප්‍රදේශවාසීන්ට හමුවී තිබිණි. අනතුරුව වනජීවී සංරක්ෂණ දෙපාර්‍තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා දැඩි වෙහෙසක් දරමින් හදිසි ප්‍රතිකාර ලබා දුන්නද, එම සියලු උත්සාහයන් ව්‍යර්‍ථ කරමින් හස්තියා අවසන් සුසුම් හෙළීය. ප්‍රධාන වශයෙන් ගල්ගමුව, සියඹලන්ගමුව සහ මීගලෑව අවට වනාන්තරවල සැරිසැරූ මෙම තේජවන්ත හස්තියාගේ ඉදිරි දකුණු පාදයට පසුගිය කාලයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල සිදුව තිබිණි. ඒ හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳි ඇතාට පසුගිය 24 වැනිදා සිට වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම් විසින් අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගැනිණි. ප්‍රතිකාර හමුවේ පාදයේ තුවාලය යම් මට්ටමකට සුව අතට හැරෙමින් පැවතිය ද, පසුගිය දින කිහිපය පුරාම හස්තියා නිසි පරිදි ආහාර හෝ ජලය නොගැනීම හේතුවෙන් ශරීරය බෙහෙවින් දුර්‍වල වී තිබූ බව පශු වෛද්‍යවරු සඳහන් කළහ. ඊට අමතරව උග්‍ර පාචන තත්ත්වයක් සහ වෙනත් රෝගී සංකූලතා කිහිපයක් ද මතුවීම සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය අසාධ්‍ය අඩියකට ඇද දැමීමට හේතු වී ඇත. ගල්ගමුව ප්‍රදේශයේ ජෛව විවිධත්වයේ සංකේතයක් බඳු වූ ‘කාවන්තිස්ස’ ඇතා, මෙරට වනගතව ජීවත් වූ අතිශය දුර්‍ලභ ගණයේ දැවැන්ත දළ ඇතෙකි. මිනිස් ක්‍රියාකාරකම් සහ වනඅලි-මිනිස් ගැටුම හමුවේ වෙඩි ප්‍රහාරයන්ට හා විවිධ උවදුරුවලට අවස්ථා කිහිපයකදීම ලක්වූ මෙම හස්තියාගේ ජීවිතය රැකගැනීම සඳහා පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීහු ද නිරන්තරයෙන් හඬ නැඟූහ.

Google AdSense

In-Article Ad