
වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි- ඇප මත මුදා හැරීමට නියෝග
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවුණා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී විත්තිකරුවන්ට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ අධි චෝදනා පත්‍ර විවෘත අධිකරණයේදී භාරදීම සිදුවුණා. ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා. මෙහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය විසින් මෙම නඩුකරයට අදාළ පැමිණිල්ලේ පිළිගැනීම් ඇතුළත් ලේඛනයක්ද අධිකරණයට භාර දුන්නා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුකරය පූර්‍ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 17 වන දා කැඳවන ලෙසයි නියම කළේ 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නමැත්තා බඳවා ගැනීම සහ එතෙක් පැවැති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ මහතා සහභාගි කරවීමට කටයුතු කරවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණා. .
Google AdSense
In-Article Ad

