FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

උගත් තරුණ පරපුරෙන් 43%කට රැකියා නෑ.. කලාපයේ ඉහළම විරැකියාව ලංකාවේ..- IMF

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අප්‍රේල් 16 වන දින පවත්වන ලද ආසියා සහ පැසිෆික් කලාපීය ආර්‍ථික දැක්ම පිළිබඳ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද මෙම දත්ත, එම අරමුදලේ Finance & Development සඟරාවේ සැප්තැම්බර් කලාපයේ ද උපුටා දක්වා ඇත. අධ්‍යාපන මට්ටම ඉහළ යත්ම විරැකියාව අඩුවීම වෙනුවට එය ඉහළ යාමේ අසාමාන්‍ය කලාපීය ප්‍රවණතාවක් පවතින බවත්, එම තත්ත්වය වඩාත්ම දරුණු ලෙස පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවෙන් බවත් එම වාර්‍තාව පෙන්වා දෙයි. දකුණු ආසියාවේ අවම අගයක් වාර්‍තා කළ බංග්ලාදේශයේ එම ප්‍රතිශතය සියයට 36 ක් වන අතර, ශ්‍රී ලංකාවේ අගය ඊට වඩා සියයට 7 කින් ඉහළ මට්ටමක පවතී. එසේම, උසස් අධ්‍යාපනය ලත් තායිලන්ත තරුණ ප්‍රජාවගේ විරැකියා අනුපාතය වූ සියයට 13.2 ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අගය තුන් ගුණයකටත් වඩා වැඩිය. පසුගිය වසරේ තායිලන්තයේ සමස්ත තරුණ විරැකියාව සියයට 3.9 ක් වැනි ඉතා අවම අගයක පැවති අතර, එහිදී උගත් තරුණයන් රැකියා විරහිත වීමේ ප්‍රවණතාව සාමාන්‍ය තරුණයන්ට වඩා තුන් ගුණයකින් වැඩි බව අනාවරණය වී තිබිණි. මෙම පරතරය අග්නිදිග ආසියාව පුරා දක්නට ලැබුණ ද, දකුණු ආසියානු කලාපය තුළ එය අතිශය පුළුල් මට්ටමක පවතින බව එම සඟරාව අවධාරණය කරයි. මෙරට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්‍තමේන්තුවේ නිල දත්ත සමඟ සැසඳීමේදී, 2025 වසරේ වයස අවුරුදු 15 ත් 24 ත් අතර ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවගේ සමස්ත විරැකියා අනුපාතය වූ සියයට 19.5 මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයක් උගත් තරුණ විරැකියාව තුළ පෙන්නුම් කරයි. එසේම එය මෙරට සමස්ත ජාතික විරැකියා අනුපාතය වන සියයට 3.9 මෙන් 11 ගුණයක අගයකි. මෙරට සියලුම වයස් කාණ්ඩ සලකා බැලීමේදී, අ.පො.ස. උසස් පෙළ සහ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ සාමාන්‍ය විරැකියාව 2024 වසරේ පැවති සියයට 7.8 සිට සියයට 6.0 දක්වා පහත වැටී තිබුණ ද, රැකියා වෙළෙඳපොළට අලුතින් පිවිසෙන ඉහළම සුදුසුකම් සහිත නවක තරුණ ප්‍රජාවට විරැකියාවේ බරපතළම පීඩනය එල්ල වී ඇති බව මෙම සංඛ්‍යාලේඛන මඟින් සනාථ වේ. මෙම අර්‍බුදය පිළිබඳව කරුණු පැහැදිලි කළ IMF හි ආසියා සහ පැසිෆික් දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා සඳහන් කළේ, "ඉහළ අධ්‍යාපනයක් සහිත තරුණ ශ්‍රමිකයන් සිය සුදුසුකම්වලට ගැළපෙන රැකියා සොයා ගැනීමට නොහැකිව දැඩි අරගලයක යෙදී සිටින" බවයි. කෘත්‍රිම බුද්ධිය (AI) ව්‍යාප්ත වීම හරහා ආර්‍ථික වර්‍ධනය සහ ඵලදායිතාව ඉහළ යා හැකි වුවද, අවශ්‍ය නව කුසලතා වර්‍ධනය වීමට පෙර කෘත්‍රිම බුද්ධිය ප්‍රචලිත වුවහොත් එය තරුණ ශ්‍රමිකයන් මත දැඩි පීඩනයක් එල්ල කරනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය. එබැවින් විශ්වවිද්‍යාල සහ තාක්ෂණික අධ්‍යාපන ආයතන රැකියා වෙළෙඳපොළේ සේවා යෝජකයන්ගේ සැබෑ ඉල්ලුමට සරිලන පරිදි සිය අධ්‍යාපන වැඩසටහන් කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. මේ අතර, ඉදිරි දශකය තුළ සංවර්‍ධනය වෙමින් පවතින රටවල බිලියන 1.2 ක පමණ තරුණ පිරිසක් අලුතින් ශ්‍රම බලකායට එක්වීමට නියමිත බව ලෝක බැංකුව පසුගිය ජූනි මාසයේදී ඇස්තමේන්තු කර තිබිණි. එය ඉතිහාසයේ මෙතෙක් වාර්‍තා වූ විශාලතම තරුණ පරපුරේ පිවිසුම වන නමුත්, වත්මන් ගෝලීය ආර්‍ථික වර්‍ධන වේගය සියවස ආරම්භයේ පැවති මට්ටමට වඩා තුනෙන් එකකින් පමණ පහත වැටී ඇති දුෂ්කර ආර්‍ථික පරිසරයක් තුළ ඔවුන්ට රැකියා සොයා ගැනීමට සිදුවනු ඇති බව ද ලෝක බැංකුව වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

Google AdSense

In-Article Ad