
අලුත් පනත අනුව පච්ච, ඇඳුම්, අභිනයන් නිසා අපරාධකරුවන් විය හැකියි..- ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
FM Heart · 3 min read
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතාගේ අත්සනින් යුතුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වෙත යොමු කර ඇති ලිපියක් මගින් මෙම නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, එහි පිටපතක් ජනාධිපති සහ ආරක්ෂක අමාත්ය අනුර කුමාර දිසානායක මහතා වෙත ද යොමු කර ඇත. සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නීති සම්පාදනය කිරීමේ වැදගත්කම පිළිගන්නා නමුත්, වත්මන් කෙටුම්පත බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් රැසකට මඟ පාදන බව කොමිසම පෙන්වා දෙයි. පනත් කෙටුම්පතේ 47 වැනි වගන්තිය මගින් සහකාර පොලිස් අධිකාරී ශ්රේණියට නොඅඩු නිලධාරියෙකු හමුවේ ලබාදෙන පාපෝච්ඡාරණ අධිකරණය හමුවේ සාක්කි ලෙස පිළිගැනීමට ප්රතිපාදන සලසා ඇති බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිසම, මෙය ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ 16 වැනි වගන්තිය නැවත බලාත්මක කිරීමක් බඳු බව පවසයි. සැකකරුවන් දීර්ඝ කාලයක් පොලිස් භාරයේ රඳවා තබා ගැනීම සමඟ මෙලෙස පාපෝච්ඡාරණ පිළිගැනීමට ඉඩදීම හරහා, පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන්ට වධහිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීම දැඩි ලෙස දිරිගැන්වෙන බව කොමිසම අවධාරණය කරයි. කෙටුම්පතේ 21 වැනි වගන්තියට අනුව, පොලිස්පතිවරයාට හෝ නියෝජ්ය පොලිස්පතිවරයෙකුට මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා වෙතින් රඳවා ගැනීමේ නියෝග ලබාගත හැකි අතර, සැකකරුවෙකුගෙන් ප්රශ්න කිරීම සඳහා මූලිකව මාස දෙකක් ද, පසුව මහාධිකරණ නියෝග මත සෑම මාස දෙකකට වරක් දීර්ඝ කරමින් සමස්තයක් ලෙස වසරක කාලයක් පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට හැකියාව ලැබේ. විධායක නිලධාරියෙකු වන අමාත්යාංශ ලේකම්වරයෙකුට මෙවැනි බලතල පැවරීම බලවත් ගැටලුවකි. පනතේ 3 වැනි වගන්තිය යටතේ ‘බරපතළ අපරාධ’ යන්න අර්ථ දක්වා ඇති ආකාරය අතිශය පුළුල් හා භයානක බව කොමිසම අනතුරු අඟවයි. වසර 4ක හෝ ඊට වැඩි සිරදඬුවම් ලැබිය හැකි වැරදිවලට අමතරව, රේගු ආඥාපනතේ දඩ හෝ රාජසන්තක කිරීම්, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ බලපත්ර රහිතව ජීවීන් ආනයනය, වන සංරක්ෂණ ආඥාපනත යටතේ වැරදි, බුද්ධිමය දේපළ පනත සහ රාජකාරියට බාධා කිරීම් වැනි සංවිධානාත්මක අපරාධ නොවන සාමාන්ය වැරදි පවා මෙම ‘බරපතළ අපරාධ’ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. විශේෂයෙන්ම, ඕනෑම වරදක් සම්බන්ධයෙන් පොලිසිය කරන පරීක්ෂණයකට ‘බාධා කළේ යැයි’ පවසමින් ඕනෑම පුරවැසියෙකුට එරෙහිව රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට පොලිසියට අසීමිත බලයක් මෙමගින් හිමිවන බව කොමිසම පෙන්වා දෙයි. කෙටුම්පතේ 4(2) වගන්තිය මගින් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ද යන්න තීරණය කිරීමට ලබාදී ඇති නිර්ණායක අසාමාන්ය ලෙස පුළුල් බවත්; අපරාධකරුවෙකු යැයි සැලකෙන අයෙකු ඇසුරු කිරීම, ඔවුන් අඳින ආකාරයේ ඇඳුම් ඇඳීම, යම් භාෂා විලාසයක් භාවිත කිරීම, සංකේත හෝ පච්ච (Tattoos) කොටා තිබීම හෝ අත් සංඥා භාවිත කිරීම පවා සංවිධානාත්මක කල්ලි සාමාජිකයෙකු ලෙස අර්ථ නිරූපණය කිරීමට ඉඩ සලසා ඇති බැවින්, නිර්දෝෂී සාමාන්ය ජනතාව පවා අසාධාරණ ලෙස දැලේ පැටලීමේ අවදානමක් පවතින බව කොමිසම පෙන්වා දෙයි. ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(2) ව්යවස්ථාව ප්රකාරව, අධිකරණ නියෝගයකින් තොරව කිසිදු පුරවැසියෙකු රඳවා තබා ගැනීමට නොහැකි වුව ද, මෙම පනත මගින් මහේස්ත්රාත්වරයෙකු සතු සාමාන්ය අධිකරණමය අභිමතය මුළුමනින්ම අහිමි කර ඇති බව කොමිසම සඳහන් කරයි. 20 වැනි වගන්තිය අනුව අමාත්යාංශ ලේකම්වරයා නිකුත් කරන රඳවා ගැනීමේ නියෝගය ක්රියාත්මක කිරීමට හෝ සැකකරු රිමාන්ඩ් කිරීමට මහේස්ත්රාත්වරයා නීතියෙන්ම බැඳී සිටින අතර, අදාළ නියෝගයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව පෙනී ගිය ද එය ඉවත දැමීමට මහේස්ත්රාත්වරයාට කිසිදු බලයක් නොමැත. මෙම සමස්ත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත වහාම හකුලා ගත යුතු බවත්, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට සහ ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට අනුකූල වන පරිදි එය සම්පූර්ණයෙන්ම සංශෝධනය කළ යුතු බවත් මානව හිමිකම් කොමිෂන් සභාව රජයට අවධාරණය කර සිටියි.

