
සරසවිවලට සිසුන් ගැනීම අවුලක.. සිසුන්ට වසර හතරක් ගෙදර ඉන්න වෙයි...
FM Heart · 2 min read
විශේෂ මාධ්ය හමුවක් අමතමින් එම සම්මේලනයේ ලේකම්, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, විශ්වවිද්යාල පද්ධතිය තුළ පවතින දැඩි අර්බුදය නොසලකා හරිමින්, ශිෂ්ය සංඛ්යාව ද ඉහළ නංවා සැප්තැම්බර් මාසයේදී නව සිසුන් බඳවා ගැනීමට කොමිෂන් සභාව පියවර ගනිමින් සිටින බවයි. සාමාන්යයෙන් එක් විශ්වවිද්යාලයක එකවර අධ්යයන කටයුතුවල නිරත විය යුත්තේ ශිෂ්ය කණ්ඩායම් හතරක් පමණක් වුව ද, වත්මන් තත්ත්වය යටතේ බොහෝ සරසවිවල එකවර කණ්ඩායම් පහක් හෝ හයක් රඳවාගෙන අධ්යයන කටයුතු සිදු කිරීමට සිදුව ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. නිදසුනක් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ එක් පීඨයක 2024 උසස් පෙළ කණ්ඩායමේ පළමු වසරේ පළමු සතියේ අධ්යයන කටයුතු ආරම්භ වූයේ පසුගිය සතියේ බව පෙන්වා දුන් ඒ මහතා, මෙවන් පසුබිමක 2025 කණ්ඩායම ලබන සැප්තැම්බරයේ බඳවා ගන්නේ කෙසේදැයි ප්රශ්න කර සිටියේය. මෙම අර්බුදය හේතුවෙන් 2025 කණ්ඩායම සරසවිවලට ගැනීම තවත් මාස ගණනාවකින් ප්රමාද වන බවත්, ඒ අතරතුර 2026 උසස් පෙළ කණ්ඩායම ද එක්වීමෙන් ඉදිරි වසර එකහමාර ඇතුළත සමස්ත පද්ධතියම මහා ව්යසනයකට මුහුණ දෙන බවත් හෙතෙම සඳහන් කළේය. මෙහි ප්රතිඵලයක් ලෙස උසස් පෙළ විභාගය අවසන් කළ දරුවන්ට සිය උසස් අධ්යාපනය ආරම්භ කිරීමට වසර තුන හතරක් නිවෙස්වලට වී කාලය කා දැමීමට සිදුවීම ජාතික අපරාධයක් බව ඔහු පෙන්වා දුන්නේය. පසුගිය කාලසීමාව පුරාම ආචාර්යවරුන් තමන්ට දරාගත නොහැකි සේවා බරක් දරමින්, කණ්ඩායම් පහ හය එකවර නඩත්තු කරමින් මෙම පද්ධතිය පවත්වාගෙන ආ බව සිහිපත් කළ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා, ආණ්ඩුව මෙම අර්බුදයේ බරපතළකම තේරුම් නොගෙන තවදුරටත් කටයුතු කරන්නේ නම් මෙම අසීමිත බර තවදුරටත් කරට ගැනීමට විශ්වවිද්යාල ආචාර්යවරුන් සූදානම් නොමැති බව ද දැඩිව අවධාරණය කළේය.

