FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ගොවියට වී කිලෝවකට සාධාරණ මිලක් දෙන්න අපට බැරිවුනා..- ලාල් කාන්ත

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වී මිල සම්බන්ධයෙන් පවතින වත්මන් අර්‍බුදය පිළිබඳව අදහස් දක්වමිනි. වී අලෙවියේදී පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සහල් මිල අඩුවීම පාරිභෝගිකයාට වාසිදායක වුවද, ඒ හරහා වී මිල පහත වැටීම වැළැක්විය නොහැකි වී ඇති බව පෙන්වා දුන්නේය. මේ වන විට වෙළඳපොළේ වී මිල රුපියල් 85 සිට 110 දක්වා විවිධ මට්ටම්වල පවතින බවත්, එය ගොවියාට ප්‍රමාණවත් නොවන බවත් ඔහු පිළිගත්තේය. "අප රජය භාර ගන්නා විට වී අලෙවි මණ්ඩලය වසා දමා තිබුණා. රජය මැදිහත් වී වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් තිබුණේ නැහැ. නමුත් දැන් අපි වී අලෙවි මණ්ඩලය හරහා නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා 130කටත්, කීරි සම්බා 140කටත් මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, රජය මිලදී ගන්නා ප්‍රමාණය තවමත් ප්‍රමාණවත් නැහැ," යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය. වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති නව පියවර පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රජයේ භාණ්ඩාගාරය හරහා පොලී රහිත ණය ලබා දීමට තීරණය කර ඇත. එක් මෝල් හිමියෙකුට රුපියල් කෝටි 2.5ක උපරිමයකට යටත්ව මෙම ණය මුදල් ලබා දෙන අතර, ඔවුන් රජය නියම කරන සහතික මිලට ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු බවට කොන්දේසි පනවා තිබේ. ගොවීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන වීවල තෙතමනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, තෙතමනය සහිත වී නිසා ගොවියාට විශාල පාඩුවක් සිදුවන බවයි. මේ සඳහා විසඳුමක් ලෙස ගොවි සමිති මට්ටමින් නවීන තාක්ෂණික වියළන යන්ත්‍ර හඳුන්වා දීමට රජය කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම, ගොවි ජනතාවගේ ආර්‍ථිකය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් වී වගාවටම පමණක් සීමා නොවී ආදායම් මාර්‍ග විවිධාංගීකරණය කරගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේය. රජයක මූලික වගකීම වන්නේ ජනතාවගේ ලෞකික ජීවිතය, එනම් ආහාර, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය සහ විනෝදය වැනි අංශ සාර්‍ථක කර දීම බවත්, ඒ වෙනුවෙන් රජය උපරිමයෙන් කැපවන බවත් ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Google AdSense

In-Article Ad