FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජපුර රෝහල අවුලක.. රෝගීන් වෙනත් රෝහල් සොයා යමින්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල සඳහා රෝහල් පරිපාලනය පිළිබඳ විශේෂඥ සුදුසුකම් සහිත අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම හේතුවෙන් එම රෝහල දැඩි පරිපාලන අර්බුදයකට මුහුණ දී සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ රෝහල් පරිපාලනය පිළිබඳ උපාධි සුදුසුකම් සපිරූ වෛද්‍යවරයෙකු හෝ විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම තනතුරට පත් කිරීමට බලධාරීන් වසරකට අධික කාලයක් තිස්සේ පියවර ගෙන නොමැති බවයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී ජපානයෙන් ලැබුණු පරිත්‍යාගයක් ලෙස ආරම්භ වූ මෙම රෝහල, මුල් අවධියේදී මෙරට ඉහළම ගුණාත්මකභාවයකින් යුතු සෞඛ්‍ය සේවාවක් සැපයූ ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි. එහෙත් පසුකාලීනව රෝහල් පරිපාලනය සහ අධ්‍යක්ෂ මණ්ඩලය දේශපාලනීකරණය වීමත් සමඟ එම මහජන විශ්වාසය බරපතල ලෙස පළුදු වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි. රෝහලේ පවතින පරිපාලනමය දුර්වලතා සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පසුගිය කාලසීමාව තුළ පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී ද බරපතල විගණන විමසුම් අනාවරණය වී තිබුණි. එවන් පසුබිමක, විධිමත් සුදුසුකම් සහිත අධ්‍යක්ෂවරයෙකු පත් කරනු වෙනුවට විවිධ දේශපාලන සබඳතා මත සුදුසුකම් නොමැති පිරිස් රෝහල් පරිපාලනය මෙහෙයවීමට උත්සාහ කිරීම නිසා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද හෙතෙම පෙන්වා දෙයි. රෝහල් සභාපති ධුරය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට රෝහලේ දියුණුව පිළිබඳ සැබෑ කැපවීමක් සහිත පිරිස් වෙනුවට දේශපාලන පත්වීම්ලාභීන් පත් කිරීම රෝහලේ අනාගතය අනතුරේ හෙළන්නක් බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි. මෙම පරිපාලනමය බිඳ වැටීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස, රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට අවට පවතින පෞද්ගලික රෝහල් වෙත ගොස් අධික මුදලක් වැය කර ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇති බව ද ඔහු පවසයි. පවතින මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කර රෝහලේ ප්‍රමිතිය යළි ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Google AdSense

In-Article Ad