FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

79 හැවිරිදි ලුලා ද සිල්වාට යලි දිනයි.. බ්‍රසීලයේ අද සිට ජනාධිපති ඔහුයි..

FM Heart · 3 min read

The Heart Academy
සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 96කට වැඩි ප්‍රමාණයක් ගණන් කර අවසන් වන විට, ලූලා ද සිල්වා සියයට 51කට අධික ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගෙන තිබූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ සෙනෙට් සභික ෆ්ලාවියෝ බොල්සොනාරෝට ලබාගත හැකි වූයේ සියයට 48ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. මෙම ජයග්‍රහණයත් සමග, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂා කළ 45 හැවිරිදි දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජයට පත් කරමින්, සිය දීර්‍ඝ දේශපාලන දිවිය තුළ අඛණ්ඩ නොවන සිව්වැනි ජනාධිපති ධුර කාලය තහවුරු කර ගැනීමට වාමාංශික නායක ලූලා ද සිල්වා සමත් විය. ෆ්ලාවියෝ බොල්සොනාරෝ යනු 2022 වසරේදී ලූලා හමුවේ පරාජයට පත්ව, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ වරදට වසර 27ක සිරදඬුවමක් විඳිමින් සිටින හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ වැඩිමහල් පුත්‍රයාය. තමන් බලයට පත්වුවහොත් සිය පියාට ජනාධිපති සමාව ලබාදෙන බවටද ඔහු මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රතිඥා දී තිබිණි. ඡන්ද විමසීම පැවති ඉරිදා දිනය දැඩි අවුල් සහගත තත්ත්වයන් මධ්‍යයේ ගෙවී ගියේය. ඇතැම් ප්‍රාදේශීය පාලනාධිකාරීන් විසින් බස් රථ සේවාවන් කප්පාදු කිරීම හේතුවෙන් ඡන්දදායකයින්ට මධ්‍යස්ථාන වෙත ළඟාවීමට බාධා එල්ල වන බව පවසමින් ලූලාගේ පාර්‍ශ්වය ඡන්ද විමසීමේ කාලය දීර්‍ඝ කරන ලෙස ඉල්ලා සිටි අතර, ප්‍රාන්ත කිහිපයකට ඇදහැලුණු ධාරානිපාත වර්‍ෂාව හේතුවෙන් බොල්සොනාරෝ පාර්‍ශ්වයද එවැනිම ඉල්ලීමක් ඉදිරිපත් කළේය. ලතින් ඇමරිකාව පුරා වර්‍ධනය වන දක්ෂිණාංශික රැල්ල, ඇමසන් වැසි වනාන්තරයේ අනාගත පැවැත්ම මෙන්ම බ්‍රසීලයේ සිව් දශකයක ප්‍රජාතන්ත්‍රවාදයේ දිශානතිය තීරණය කෙරෙන තීරණාත්මක සාධකයක් ලෙස මෙම මැතිවරණය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්විය. පසුගිය ඔක්තෝබර් 4 වැනිදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමේදී ෆ්ලාවියෝ බොල්සොනාරෝ පෙරමුණ ගැනීමත් සමග දෙපාර්‍ශ්වය අතර දැඩි තරගකාරීත්වයක් නිර්‍මාණය වූ නමුත්, අවසානයේදී සමාජ සුබසාධන වියදම් ඉහළ නැංවීම සහ රාජ්‍ය ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව පිළිබඳ ලූලා ද සිල්වා තැබූ විශ්වාසය කෙරෙහි බහුතර ජනතාව සිය කැමැත්ත පළ කර තිබේ. කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රතිඵලයත් සමග ලූලා ද සිල්වාට පාලනය කිරීමට සිදුව ඇත්තේ දේශපාලනික වශයෙන් අතිශය තියුණු ලෙස දෙකඩ වූ රාජ්‍යයකි. ලතින් ඇමරිකානු වාමාංශික දේශපාලනයේ ප්‍රමුඛතම නායකයෙකු වන 79 හැවිරිදි ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා, බ්‍රසීල කම්කරු පක්ෂය නියෝජනය කරමින් මීට පෙර 2003 සිට 2010 දක්වා දෙවරක් එරට ජනාධිපති ධුරය දැරීය. අනතුරුව එල්ල වූ දූෂණ චෝදනා හමුවේ සිරගතව සිට පසුව නිදොස් කොට නිදහස් වූ ඔහු, 2022 ජනාධිපතිවරණයේදී අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සුළු ඡන්ද ප්‍රතිශතයකින් පරාජය කරමින් තෙවැනි වරටත් බලයට පත් විය. එම පරාජය පිළිනොගත් බොල්සොනාරෝ හිතවාදීන් 2023 ජනවාරි මාසයේදී බ්‍රසීල කොන්ග්‍රස් මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනවලට පහරදී කුමන්ත්‍රණයකට තැත් කිරීම හේතුවෙන් ජෙයර් බොල්සොනාරෝ ඇතුළු පිරිසකට එරෙහිව දීර්‍ඝ සිරදඬුවම් නියම විය. මෙවර මැතිවරණය සැලකුණේ එම බොල්සොනාරෝ පවුලේ දේශපාලන නැවත පැමිණීම උරගා බැලූ ප්‍රධානතම සන්ධිස්ථානයක් ලෙසිනි.
99mobile