
මහනුවරටත් මෙට්රො බස්.. ඊළගට ගාල්ලට.. යාපනේට..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මෙරට නාගරික පොදු ප්රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශයේ මෙහෙයවීමෙන් බස්නාහිර පලාත කේන්ද්ර කර ගනිමින් දැනට ක්රියාත්මක වෙමින් පවතින මෙට්රො බස් රථ සේවාව අගනුවරින් පිට පලාත් සඳහා ද ව්යාප්ත කිරීමේ සැලසුම යටතේ මහනුවර නගරය සහ අවට උපනගර දක්වාත් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මහනුවර මෙට්රො බස් ධාවනය වෙනුවෙන් මාර්ග හඳුනා ගැනීමේ විශේෂ මාර්ග පරීක්ෂාවක් ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් අද දින (2026.10.15) සිදු කෙරිණ. මහනුවර සහ තදාසන්න ප්රදේශ දක්වා ධාවනය කිරීමට යෝජිත මෙට්රො බස් රථ සේවාවේ ගමන් මාර්ග හඳුනා ගැනීමේ සමාරම්භය නියෝජ්ය අමාත්යවරයා සහ මාර්ග පරීක්ෂණ කණ්ඩායමේ සහභාගිත්වයෙන් මහුනවර නගරයේ සිට ගම්පොල දක්වා මාර්ගයේ පරීක්ෂණ ගමන් වාරයක් ධාවනය කරමින් ක්රියාත්මක කෙරිණ. මෙම ආරම්භක මාර්ග පරීක්ෂණ මහනුවර නගරයේ සේනානායක වීදිය, දළදා වීදිය, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, මුල්ගම්පල, ගැටඹේ හන්දිය, ගලහ හන්දිය, පේරාදෙණිය, අඟුනාවල, ගෙලිඔය, වැලිගල්ල, කහටපිටිය හරහා ගම්පොල නගරය දක්වා ධාවනය කර ගම්පොල ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ පරිශ්රයට ළඟාවිය. යෝජිත මෙම නව මෙට්රො ගමන් මාර්ගය කි. මී. 19.0 කින් යුක්තවන අතර, මෙට්රො බස් රථ ධාවනයට සුදුසු පරිදි මාර්ගය සංවර්ධනය කිරීමත්, මෙට්රො සේවාවට අවශ්ය යටිතල පහසුකම් ඇති කිරීමත් මීට සමගාමීව සිදුකෙරේ. ලංකා මෙට්රො ට්රාන්සිට් පුද්ගලික සමාගම මගින් මේ වනවිට බස්නාහිර පලාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්රික්ක කේන්ද්ර කර ගනිමින් මෙට්රො බස් රථ 122 ක් යොදා ගනිමින් මෙට්රො මාර්ග හතක මගී සේවා ක්රියාත්මක කරනු ලබයි. ලංකා මෙට්රො ට්රාන්සිට් පුද්ගලික සමාගම මගින් ඉදිරි වසරවලදී මෙම නාගරික සුඛෝපභෝගී බස් රථ සේවාව මහනුවර, යාපනය සහ ගාල්ල යන නගර කේන්ද්ර කරගනිමින් ව්යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙට්රො මාර්ග හඳුනා ගැනීමේ පරීක්ෂණ ධාවනයට පෙරාතුව නියෝජ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් යෝජිත මහනුවර මෙට්රො බස් රථ ධාවන ව්යාපෘතිය ක්රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් පොලිස් රථවාහන කොට්ඨාසයේ සහ අදාල රාජ්ය ආයතන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මහනුවර පිහිටි මධ්යම පලාත් මාර්ග අමාත්යංශයීය ශ්රවණාගාරයේ දී පැවැත්වුණි. මෙම අවස්ථාවන්ට මධ්යම පලාත් ප්රධාන ලේකම් අජිත් ප්රේමසිංහ, මධ්යම පලාත් මහාමාර්ග අමාත්යංශයීය ලේකම් දිලීෂා රූපානි පියදාස, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, මධ්යම පලාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්රියන්ත, ලංකා මෙට්රො ට්රාන්සිට් පුද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලධාරි ඉංජිනේරු පී.එම්. පියතිලක, මහනුවර සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඩී. හේරත්, මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්රී මධුර රංජිත් යන මහත්ම මහත්මීහු සහ මාර්ග සංවර්ධන අධිකරිය ඇතුළුව අදාල රාජ්ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහභාගි වූහ.
Google AdSense
In-Article Ad

